Saturday, February 15, 2014

රංචාමඩමෙන් මතු වූ අපේ හෙළ අභිමානය...

By Kishan Chali on Friday, 14 October 2011 at 00:11

අප අ‍ෙ‍ප් ඉතිහාසය ගැන කතා කරන්නේ ආඩම්බරයෙන්. ඒත් අප කතා කරන ඉතිහාසය තුළ අපට අපේ ම කියා නිර්මාණයක්, ‍සංස්කෘතියක් නැතිම ගානයි. අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය, අපේ නිර්මාණ හැම දෙයක් ම ඉන්දියානු පිටපතේ අනුවාදක් වගෙයි. වංශ කතාවලට හිර වී ගැට ගසාගෙන තියෙන අපේ මේ ගැති බැමි ගලවන්න පුරා විද්‍යාව දරන්නේ විශාල පරිශ්‍රමයක්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වගේ ම කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයත් මේ අතර පුරෝගාමීන් ලෙස ක්‍රියා කිරීම අපගේ ජාතියේ වාසනාවක්.

අප බුදු පිළිමයක් හෝ ඕනෑම පුරා වස්තුවක් දුටු විට සොයන්නේ ඉන්දියාවේ මොන සංස්කෘතියට ද එය නෑකම් කියන්නේ යන්නයි. ඒ පටු මානසිකත්වයෙන් මිදී අපේ අටේ, අපට උරුම ඉතිහාසයක් සොයා ගෙන යන හෙළ මානවයින් පිරිසක් අහම්බෙන් මෙන් මුණ ගැසුණේ ඇඹිලිපිටිය රංචාමඩම ප්‍රදේශයේ දී.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායම කළ අපූරු කැනීමක ප්‍රතිඵලයි මේ ලෙස දිග හැරෙන්නේ.

මේ ප්‍රදේශයට මුලින්ම ආචාර්ය රාජ් සෝමදේව මහතාගේ දෙනෙත් යොමු වී තිබුනේ රංචාමඩම විදුහල් බිමේ සිදුකළ ඉදිකිරීමේ කටයුත්තක දී හමු වූ ඉපැරැණි වළං කැබලි කිහිපයක් හේතුවෙන්. මේ පාසල පිහිටා ඇත්තේ රංචාමඩම, බුළුතොට කඳු බෑවුමේ නැගෙනහිර මායිමේයි. වළං කැබලි හෝඩුවාව දිගේ පර්යේෂණ කළ ආචාර්ය සෝමදේවට ඉපැරැණි සොහොන් බිමක නටබුන් හමු වී තිබෙනවා. ඒ 2007 වසරේදී යි. ආචාර්ය රාජ් සෝමදේව මේ පිළිබඳව ඔහුගේ සුවිශේෂි අදහස් ප්‍රකාළ කළේ මෙසේ යි.

"මෙය මිසරයේ සොහොන් බිමකට සමානයි. නමුත් මෙය කිසියම් රටක හෝ ශිෂ්ඨාචාරයක බලපෑම් මත නිර්මාණය වූවක් නොවේ. ස්වාධීනව ගොඩ නැඟූ සොහොන් බිමක් බව පැවසීමට සාධක බොහොමයක් තිබෙනවා. සොහොන් විවිධ අතට නිර්මාණය වීම තුළ ආගමික සංකල්වලින් බැහැරවීමක් හා ස්වාධීනත්වයක් මේ සොහොන් බිම් තුළ දිස් වෙනවා."

මේ සොහොන් බිම සම්බන්ධ තවත් වැදගත් කරුණු රැසක් ‍ආචාර්ය සෝමදේව අප හා ප්‍රකාශ කළා. ඒ එදා වැසියා‍ෙග් තාක්ෂණය පිළිබඳවයි.

"මළ සිරුරක් පුළුස්සන්න අධික තාප ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා භාවිත වන දාහ්‍ය ද්‍රව්‍ය වන්නේ දරයි. නමුත් වනයට, ගහකොළට ආදරය කළ ඔවුන් දර පරිභෝජනය අවම කිරීම සඳහා සිරුර වෙනත් ස්ථානයක මිහිදන් කර එය දිය වී, වියළ ගිය පසු සොහොන් බිම වෙත රැගෙන ගොස් පිළිස්සීම සිදු කර තිබෙනවා. එසේ පිළිස්සූ ස්ථානවල තාපය පැතිරී යාමේ ස්වභාවය පරීක්ෂා කිරීමේ දී ඒ බව සනාථ වෙනවා."

මේ නිසා ක්‍රමවත් සොහොන් බිමක් පවත්වා ගන්නට නම් හොඳ ජනාවාසයක් මේ අසන්නයේ තිබිය යුතු බව ආචාර්ය සෝමදේව දැඩිව විශ්වාස කළ කරුණක්. පහළ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනාවාසයක් සම්බන්ධව කිසිත් හෝඩුවාවක් නොලැබුන ද දිගින් දිගට ම කළ ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස රංචාමඩම ඉහළ ප්‍රදේශයෙන් පැරැණි ජනාවාසයක නටබුන් සොයා ගැනීමට ආචාර්ය සොමදේවට හැකි වී තිබුනා.

අනුරාධපුර ඇතුල්නුවර කැනීම්වලට අනුව අපේ ජනාවාස ඉතිහාසය දිව ගොස් තිබුනේ ක්‍රි.පූ. 800 – 900ක කාලයකටයි. මේ සොයා ගැනීමත් සමග ඉතිහාසය වසර 3000ක පමණ අතීතයට දිව යනවා. ඉන්දියාවේ මෙසපො‍ෙත්මියානු ශිෂ්ඨාචාරයට සමකාලීනව අපේ රටේ ජනාවාස තිබූ බවත්, ඒවාට වෙනත් රටක ආභාෂයන් නොලැබ ස්වාධීනව පෝෂණය වූ ඒවා බවත් මේ කැනීම් තුළින් ඔප්පු වන තවත් වැදගත් කරුණක්.

අපේ රටේ අතීත‍ෙය් සිටියේ 'යක්කු' යැයි සිතන පිරිස් තවමත් අප අතර සිටිනවා. එ සිතිවිල්ලටත් හොඳ පිළිතුරක් ලබා දීමට මේ සොයා ගැනීම සමත් වී තිබෙනවා.

මෙසේ ‍ෙසායා ගැනුණු නිවාසයේ පාදම අඩි 27 ක් දිග අඩි 27ත් පමණ පළල විශාල භූමි ප්‍රදේශයක විහිදී පවතිනවා. එය අංග සම්පූර්ණ නිවෙසක්. ඉස්තෝප්පුව, සාලය, නිදන කාමරය සහ මුළුතැන්ගෙය යන අංගවලින් එම නිවෙස අංග සම්පූර්ණයි. මේ තුළින් අදින් වසර 3000කට පෙර ජීවත් වූ අපේ පැරැණි හෙළයාගේ ජීවන රටාව පැහැදිලි වෙනවා.

ඔවුන්ගේ ඉංජිනේරු ශිල්පය ගැනත් කතා කළ යුතුමයි.

ඔවුන් නිවාස ඉදිකිරීමේදීවත් තම ස්වාභාවික පරිසරයට හානි කර නැහැ. පිහිටි ගල්වල ඉහළ මට්ටමට සමපාත වන ලෙස ගල් යොදා පාදම් සකස් කර ගනිමින් තල කිහිපයකට නිවෙස නිර්මාණය කර ඇති බවයි පෙනී යන්නේ. පඩි යොදා ගැනීම ආදිය මගින් ‍මේ නිවාසයේ ගෘහ නිර්මාණ ශිල්පීය නිපුණතාව මොනවට පැහැදිලි වෙනවා.

මුළුතැන්ගෙයින් හමු වූ ඇඹරුම් ගලේ කොටස ඒ වන විටත් කෘෂිකර්මය රට තුළ පැවැති බවට හොඳ සාක්ෂියක්. ආර්ය ජනාවාස බිහි වන්නේ ගංගා නිම්න ආශ්‍රිතව යි. ඒ කෘෂිකර්මාන්තයට ජලය ලබා ගැනීමේ පහසුව නිසයි. නමුත් කඳුකරයේ ජීවත් වූ අපේ ආදිතමයා ජලය රැස් කරගෙන කෘෂිකර්මයේ යෙදීමට හැකියාව තිබූ සුවිශේෂී පිරිසක් බව මේ සාක්ෂි අපට පෙන්වා දෙනවා.

මේ ප්‍රදේශයෙන් හමු වූ පුරා විද්‍යාත්මක නෂ්ඨාවශේෂ දැකීමෙන් අප තවත් විස්මයට පත් වුණා. අදින් වසර 3000කට පෙර භාවිත කළ වළං කැබලිවල ආලේප කර තිබූ වර්ණයන් අදටත් පවතිනවා. ඒවාවල තිබූ සියුම් කැටයම් රටා අපේ චිත්‍ර කලා ඉතිහාසයටත් අලුත් පාරක් කියන බවයි මට හැඟී ගියේ. ඔවුන් මේ මැටි බඳුන් නිෂ්පාදනය කළ සුවිශේෂී තාක්ෂණ ක්‍රම ද ආචාර්ය සොය‍දේව අපට විග්‍රහ කළා.

තඹ වැනි ලෝහයකින් සෑදූ කූරක් අප හමුවේ පෙන්වමින් ආචාරය සෝමදේව අප හමුවේ පැවැසුවේ මේ කූර කාන්තාවන් ඇස් අඳුන් ගැල්වීමට භාවිත කළ උපකරණයක් වශයෙන් අනුමාන කළ හැකි බවයි. එය ආරක්ෂිත විල්ලකින් සමන්විත වීමත් සුවිශේෂී කරුණක්.

මැටි පබළු ඒ අතර තවත් වැදගත් නිර්මාණයක්. ඉතා සියුම් මෙ වැනි නිර්මාණ කිරීමට ආදී හෙළයා තාක්ෂණය අතින් කොතරම් දුර ගොස් සිටිය යුතු ද? තවද අදටත් මුවහතේ වෙනසක් නැති, විවිධ කහඳ වර්ගවලින් නිෂ්පාදිත ආයුධ දැකීමෙන් අප විස්මයට පත් වුණා.

මූර්තියකින් කැඩී ගිය කොටසක් ලෙස විශ්වාස කෙරෙන කවාකාර වූ නිර්මාණයක් ආචාර්ය සෝමදේව අප හමුවේ තැබුවා. මූර්ති ශිල්පය අපට ලැබුනේ ඉන්දියාවෙන් ම ද යන පැනය මෙය දකින කාගේත් සිතට එන කරුණක්. ඉන්දියානු කලා ශිල්ප තුළින් අපේ හෙළයා තුළ පැවැති කලාවට පෝෂණයක් සිදු වූවා මිසක අපට මූර්ති හා කලා ශිල්ප අමු අමුවෙන් ඉන්දියාවෙන් ලැබුනු ඒවා නො වන බවට මෙය ප්‍රබල සාක්ෂියක්.

මේ සා විශාල මෙහෙවරක් කළ ආචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සිසු කැල වන සතුන් මැද, කටුමැටි ගෙයක, තම ජීවිත ද අවදානමට ලක් කරමින් සිදු කරන ඒ උතුම් කර්තව්‍යයට සමස්ත ජාතිය ම වෙනුවෙන් ප්‍රණාමය හිමි කළ යුතු යි.

'ලංකා රෙඩ් නිවුස්' වෙබ් අඩවිය වෙනුවෙන් කළ සංචාරයක දී ලබාගත් තොරතුරු ඇසුරෙන් "සිරිදෙසුම" මාසික බෞද්ධ පුවත්පත සඳහා සම්පාදනය කරන ලදී.

_බුද්ධික රුද්‍රිගු_
(සිරිදෙසුම - ඇසළ කළාපය)

No comments:

Post a Comment